Saturday, April 4, 2020

කොරෝනා වයිරසය, අනපේක්ෂිත ප්‍රශ්න රැසක ආරම්‍භය. ඒ අතරින් ගැඹුරුම ප්‍රශ්නය විදිහට බොහෝ දෙනෙක් දකින්නේ කොරෝනා වයිරසය අපේ ශරීරයට ඇතුළුවීම වළක්වන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට දැන් බොහෝ පිරිසක් පිළිතුරු හොයාගෙන, උත්තර ජනප්‍රියයි. දැන් හැමෝම දන්නවා. කොරෝනා වයිරසයට ගැලපෙන වැක්සීන් එක්කුත් ඉක්මනින් හොයා ගනිවී. එතකොට ඒ ප්‍රශ්නය එතනින් ඉවරයි. ඒ කියන්නේ ඒ වැඩේත් ගොඩ. ඒත් ප්‍රශ්නය ඉවරනෑ වගේ දැනෙන්නවානේ..., එතකොට දැන් තියෙන ගැටලුව මොකක්ද?

ඒක තමයි ඇත්ත ප්‍රශ්නය, විසදන්න අමාරු ගැටලුව. වයිරසය මනසට ඇතුළුවීම නවත්තන්නේ කොහොමද? පැය විසිහතරෙම හිතන්නේ, කතා කරන්නේ, දකින්නේ කොරෝනා ගැන, රූපවාහිනීයේත් කොරෝනා, රේඩියෝවෙත් කොරෝනා, කෝල් කරත් කොරෝනා, නින්දෙත් කොරෝනා. මනසේ කොරෝනා. මනස ගැන තියෙන ප්‍රබල මතයක් තමයි, මනසට ඇතුළුවීමත්, පිටවීමත් එක හා සමානයි කියලා. එ කියන්නේ ඇතුල්වන්නේ කුණුනම් පිටවන්නෙත් කුණු ම තමයි. ඉතිං වයිරස් ඇතුළුවු මනසකින් පිට වන්නෙත් වයිරස් ම තමයි. අපේ ශරීරයට තේරීමේ අවස්ථාව නැහැ. එන වයිරස් ස්පර්ශ වුනොත් ශරීරගත වෙනවා. නමුත් අපේ මනස ඊට වෙනස්, වැක්සීන් නැතුවත් එයා වැඩ. ඇතුළුවන්නේ මොනවද, නැත්තේ මොනවාද කියලා අපේ මනසට තොරන්න පුළුවන්. ඉතිං අද ඉදන්වත් අපේ මනසට (කල් වෙලා ඇති තරම් තියෙන එකේ)  වයිරස් ඇතුල්වෙන එක නවත්ත ගමු.

තාමත් ඔබට කොරෝනා ගැනම හිතෙනවානම්, කොරෝනා වලින් තොර ලෝකයක් නෑ වගේ නම්, පුංචි ප්‍රශ්න කිහිපයක් අහන්නම්;
* ඔයා කොච්චර කොරෝනා ගැන හිතුවත් කොරෝනා ඔයා ගැන හිතයිද?
* එකෙන් කොරෝනා පාලනය වෙයිද?
* ඔයා කොරෝනා ගැනම හිතලා මේ පවතින තත්ත්වය හොඳ අත්ට වෙනස් වේවිද?

ඒ ප්‍රශ්නවලට උත්තරය "ඔව්" නම්, කමක් නෑ ඔයා දිගටම කොරෝනා ගැන හිතන්න. උත්තරය "නෑ" නම් ඔන්න වැඩේ තියෙන්නේ දැන්. ඔයාට අලුත් දිශානතීයකට යොමු වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍යය මූලික කාරණාව සම්පූර්ණයි. අපි වටේ තොරතුරු විශාල ප්‍රමාණයක් සැරිසරන යුගයක අපි ජීවත්වෙන්නේ. වයිරස් වගේ තොරතුරු පැතිරෙනවා. තොරතුරු වගේ වයිරස් පැතිරෙනවා. ඉතිං නිර්මාණශීලී, ප්‍රතිඵළවාදී, ක්‍රමානුකූල චින්තනයක් ගොඩ නගමු. ලෝකය වෙනස් කලේ අලුත් විදිහට හිතන මිනිස්සුන් මිස සාම්ප්‍රදායික මිනිස්සුන් නොවේ. නිදහස්ව සිතන්න. අලුතින් හිතමු, කතා කරමු, වෙනස් වෙමු. සාම්ප්‍රදායික රාමුවෙන් එළියට එමු. වයිරස් පළවා හරිමු.  අසාධාරණය දුටු තැන සාධාරණය වෙනුවෙන් එකතුවෙමු. මනුෂ්‍යත්වයට නිග්‍රහකරන්නන් මෙන්ම ජනතාවාදී නොවන සියල්ල ප්‍රතික්ෂේප කරමු.  වගාකිරීමට හැකි සෑම භෝගයක්ම වවමු. දේශීයව නිෂ්පාදනය කළ හැකි නව නිපැයුම්වල යෙදෙමු. ඒ වගේම දූපත් මානසිකත්වයෙන් මිදෙමු. ලෝකය තනි යායක් බව සිතමු. හේතුඵලවාදී ව කටයුතු කරමින් මිත්‍යාව ප්‍රතික්ෂේප කරමු.

ජනතාවගෙද? පාලකයොන්ගෙද?

මුලූ ලෝකයක් වසංගතයක් ඉදිරියේ සටන් කරන මේ වකවානුවේ රටේ විනය, නිතීය හා සම්ප්‍රදායන් ගැන කවදාකවත් කතා නොවුණු තරම් තැන තැන සාකච්ඡාවට ගැනෙනවා.

කොටසක් ජනතාවට විනයක් නැති බවත්, තවත් කොටසක් පාලකයන්ට විනයක් නැති බවත්, උදාහරණ සහිතව ඔප්පු කරමින් ඉන්නේ. විවිධ රටවල ගුණ අගුණ සන්සන්දනය කරමින් ඉන්නේ. කොහෙන් කොහොම හරි ජනතාවගෙත්, පාලකයොන්ගෙත් විනය බඩවැල් වගේ, අපි දෙපැත්තෙන් අල්ලගෙන අදිනවා.

අපි දැන් ලොකු පින්තුරේ බලමු. රටක් කාලයක් තිස්සේ පාලනය කරගෙන එන බලවතුන් ඉන්නවා, ඔවුන්ට ඕන විදිහට පාලනය කරනවා. ජනතාව ඒ ඒ විදිහට පාවිච්චි වුනා නොවුනා පාලකයෝ නිතී පනවනවා, රාජ්‍ය ක්‍රම හැදෙනවා, ඒ ක්‍රමයන්ට අදාල නිතී, රිතී හා සම්ප්‍රදායයන්ට අනූකුලව බහුතර ජනතාව ජීවත් වෙනවා, පාලනය වෙනවා, සංස්කෘතිය ගොඩ නගනවා. ඒක ඇතුලේ විනය කියලා වෙනම වෙන්වෙච්ච නැති, නමුත් පොදු ඵලදාවක් හටගන්නවා, ක්‍රමය විසින් ක්‍රමයට අදාල අනික් ඵලදාවන් වගේම විනයත් ප්‍රවර්ධනය කරමින් අරන් එනවා.

අපි දැන් විනය හදන්න යන්නේ කාගෙද? ජනතාවගෙද? පාලකයොන්ගෙද? ක්‍රමයේද? විනය, කොඩිවිනයක් වෙන්නේ ඕං දැන්...

සංජය ධනුෂ්ක 
අදත් වැඩේ පටන්ගන්න හදන්නේ. හිතෙන දැනෙන දේ කියන්න වෙනවා. තදකරන් හිතේ තියන් ඉන්න බෑ. අනික දන්න හැම ක්‍රමයකටම   කියලා බලන්න වෙනවානේ...

අද හෝ හෙට, අපිට තීරණය කරන්න වෙනවා, (තනි තනිව හෝ සමුහය විදිහට) කොහෙද හිට ගන්නේ කියලා. රේඛාව ඇදෙද්දී අපි දෙකඩ වෙනවා දකින්න අකමැති වුනත් අපිට පෙනෙන්නට ගනිවී.

මං හිතෙනවා, අපෙන් ලොකු බලපෑමක්, පෙළඹවීමක්, දායකත්වයක් සමාජයට නිරන්තරයෙන් සිදුවිය යුතුයි කියලා. ඒ බලපෑම, පවතින සමාජ ක්‍රමයේ අර්බුදයන් එක්ක හප්පන්න, හැප්පෙන්න පවතින තත්ත්වයන්ම ප්‍රයොජනයට ගන්න වෙනවා. රෝදය මුතුන්මිත්තෝ හොයාගෙන තියෙන්නේ අපිට අපේ ගැලපෙන වාහනය හදාගන්න වෙනවා.

මේ වෙලාවේ දැනට තියෙන හැම මෙවලමක්ම, අත්දැකීමක්ම, නිර්මාණයක්ම අපේ ඉල්ලකයට යන්න ප්‍රතිචක්‍රිකරණයෙන් හෝ පවතින තත්ත්වයෙන් භාවිතාකරන්න වෙනවා.

ප්‍රතිඵලය තමයි නැවුම් වෙන්නේ, අලුත් වෙන්නේ. පවතින තත්ත්වය තමයි අර්බුදය වෙන්නේ. භාවිතාකරන්න වෙන්නේ ඉන්න ජනතාව මිසක් අලුත් ජනතාවක් නෙවෙයි. වැඩේට ගන්න උපකරණ හා මාධ්‍යයන් පවතින (available) දැනට හොයා ගත්තුවම තමයි.

හරි එහෙනම් ඊළඟ පියවර මොකක්ද? අපි හැමෝටම ඊළඟ පියවරක් තියෙනවා. නමුත් අපි ඒ පියවර තියන්න දහස්වාරයක් හිතලා, තවත් පාරක් හිතලා වැඩේ කල් දානවා. එහෙම   postpone කරපු වැඩ ගොඩක් මත කෝවිඩ්-19 සෙට් වෙනවා. වෙන මුකුත්ම කරන්න එපා. අර ඔයාගේ ජිවිතේ මඟ ඇරුණු වැඩේ හොයන්න. අන්න ඒක ජනතාවාදීද නැද්ද කියලා තීරණය කරන්න.

ජනතාවාදී නම් සමුහයට කියන්න. අන්න ඒ වැඩේ දිනයක් දාගෙන කරමු. අනිත් අයත් එක්ක මාත් එනවා.

ප: ලි: මීටරයක් දුරින් ඉදන් කරන්න බැරි වැඩ කොරෝනා පාලනයට පස්සේ...

සංජය ධනුෂ්ක 
කොරෝනා, ආගම, විද්‍යාව හා දේශපාලනය

කොරෝනා වයිරසය (covid-19) පැතිරෙන මේ කාල වකවානුව නූතන වර්තමානයනම්, මේ වකවානුව "කෝවිඩ් යුගය" යැයි කියමු. ඊට එපිට වකවානුව අපි "පැරණි ලෝකය" යැයි කියමු. කවදා හෝ කොරෝනා (covid-19) පහව ගිය පසුව ලෝකය "අලුත් ලෝකය" යැයි කියමු.

පැරණි ලෝකයේ තිබූ සංකල්පයන් අලුත් ලෝකයට නැවත එකතු වෙවිද?

පැරණි ලෝකය ඔසවාගෙන ආපු "ආගම" නැමති සංකල්පය බැලූ බැල්මට උස්සලා පොළොවේ ගහපු ස්වභාවයක් තියෙන්නේ, වර්තමානයේ ඒ කියන්නේ කෝවිඩ් යුගයේ ආගමට බඩුම තමයි වගේ හිතෙන්නේ... නමුත් අලුත් ලෝකයේදි? විද්‍යාව උගස් කරලා ආගම මිලදී ගන්නවා.

විද්‍යාවට, නූතන වර්තමානයේ, කෝවිඩ් යුගයේ ප්‍රමුඛස්ථානය ලැබෙමින් සියලු ගරුත්වයන් දිනාගනිමින් එහි උපරිමයට ලගාවෙමින් ඉන්නේ...නමුත් අලුත් ලෝකයේදි බලවතුන් ඉදිරියේ දන ගහනවා.

පාර්ලිමේන්තුව; නම කිව්වත් හිකිස් ගෑ වෙලා, හකු රිදෙන්න හිනාගිහිං, අන්තිමට මළ පැනලා, පඩයකුත් යනවා හීනියට. ඒත් අලුත් ලෝකයේදි බොඩි ගාඩ්ලට අමතරව වයිරස් ගාඩ් ඒකකුත් අරං එන්නේ එකෙක්වත් අඩු නැතුව.

ගෝලීයකරණය, මුලු ලෝකයම තනි ගමක් වගේ සංකල්ප කෝවිඩ් යුගයේ අරහං වෙලා. ඇඳිරි නිතීය, සුවසේවා, හමුදා, පොලීසි, අපේ රට, සතොස, දේශීයත්වය හා අපේ නිෂ්පාදන ආචාර වෙඩිමුර සහිතව සැලියුට් ගහලා පිළිඅරං, අලුත් ලෝකයේදි අපේ දූපතේ කැලී කඩන්න සෙට් වෙන්නවා.

වෙළෙඳ පොළ ආර්ථිකය (කැති මන්න, ටී 56, ගල්කටස්, මිරිස් කුඩු උස්සන් මස් රාත්තල ඉල්ලං එන්න එපා) පැරණි ලෝකයේ වගේම කෝවිඩ් යුගයේත් සනාථ කරමින් ඉන්නේ ලිබරල් වගේ පෙන්නවට පට්ට කැලෑ නිතීයක්ම බව. අලුත් ලෝකයේ වෙනස් වේවිද?

මුදල්, චෙක්, ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ්, සුරැකුම් පත්, රක්ෂණ ඔප්පු, ඒ විතරද රියදුරු බලපත්‍ර, දුම් සහතික, ආදායම් බලපත්‍ර හා තවත් බොහොමයක් ප්ලාස්ටික් කාඩ්, කොළ කැලී කෙටියෙන් කියනවා නම් පැරණි ලෝකයේ එදිනෙදා වීරයෝ. දැනට ඒ කියන්නේ කෝවිඩ් යුගයේ මින් සමහරක් දේවල් "good for nothing" නමුත් අලුත් ලෝකයේ?

ජෝතීෂ්‍යවේදය පැරණි ලෝකයට නැතුවම බැරිවුණු ගැලවුම්කාරයෝ, කෝවිඩ් යුගයේ දැඩි පාලනයකට යටත්ව අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ මුලින්ම ඉන්න ජීවි ගහනය වුනාට අලුත් ලෝකයේදි ඔළුව උස්සන්නේ අපේ ඔළු කාලා හප කරගෙන.

ජනමාධ්‍ය, ඇයි අහක බලන්නේ, ලැජ්ජද? සියල්ලෝම  නිරුවත් කරමින් තමනුත් නිරුවත් වෙමින් ඉන්නේ. පැරණි ලෝකයෙත්, නූතන කෝවිඩ් යුගයේදීත්, ජනතාවාදී නොවන සියල්ලේ පරිපූර්ණ එකතුව ජනමාධ්‍ය බව අඩි පොලොවේ ගහලා ඔප්පු කරමින් ඉන්නේ.   කෝවිඩ් ක්‍රිකට් මැච් එකේ ලකුණු පුවරුව සහිත සජීවී විකාශය. වෙනස හොයායන අලුත් ලෝකයේ "වෙනස", "වෙනස්" කරන්නේත් මේ අයියලා සෙට් එකම තමයි.

දේශපාලනය; පක්ෂ දේශපාලනය නෙමෙයි, නියම political situations; පාලනය, ආණ්ඩුව, රාජ්‍යය, පවුල, දේපල, ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, සමාජවාදය, පංති අරගලය, කොමියුනිස්ට්වාදය, පැරණි ලෝකයේත්, කෝවිඩ් යුගයේත්, පැවැත්ම. ඔන්න තැන. මේකෙන් අදාල දේ තෝරගෙන වෙනසක් කලොත් ඇරෙන්න ඉහතින් සඳහන් කිසිවක් වෙනස් නොවේ. කොරෝනා අස්සේ මේවා කොරන්න බෑ. හැබැයි ඉවරවෙලා පුළුවන්. කොරලා බලහල්ලා. මේවා අලුත් ලෝකයේදි වෙනස් වේවි කියලා කවුරුහරි හිතෙනවා නම්, හිතලා මදි කරන්න වෙනවා. ඉතිං කොරලා බලමු.

සංජය ධනුෂ්ක